ගී ලොව රන් විමනෙන් වියැකුණු මැණික් සඳ
උඳුවප් සීතල කැටිව හමා ආ සිහිල් මදනල කියා පෑවේ අතිශය සෝබර පුවතකි. ඒ හෙළයේ ගීත කෝකිලාව ලතා වල්පොල දැයෙන් සමුගත් වගය. මේ අසහාය ගායිකාව දෙව් මව් තුරුළට ගිය පුවත මෙරට ගුවන් විදුලි හා රූපවාහිනි නාළිකාවන් සියල්ලේම ප්‍රධාන පුවතක් වී තිබුණි. ඇතැම් රූපවාහිනි නාළිකාවන්ට ලතාගේ වියෝව ‘බ්‍රේකින් නිව්ස්’ එකක් තරම් වැදගත් විය
මේ විශිෂ්ට, ආදරණීය ගායිකාවගේ නික්මයාමත් සමග මෙරට ජ්‍යෙෂ්ඨතම ගායිකාවගේ සමුගැනීම සිදුවිය. ලතා චිත්‍රපට කිහිපයක රඟපා ඇති බැවින් ඇගේ වියෝව ජ්‍යෙෂ්ඨතම නිළියගේ අභාවය ලෙසද හැඳින්විය හැකිය.
1934 නොවැම්බර් 11 වැනි දින උපන් ලතාගේ මුල් නාමය වූයේ රීටා ජෙනිව් ප්‍රනාන්දුය. එහෙත් ඇය චිත්‍රපට පසුබිම් ගායනයට එක්වන්නේ ‘ලතා’ යන නමිනි. ඒ නම ඇයට තබන ලද්දේ සුසිල් ප්‍රේමරත්නය. ‘රූ රැසේ අඳිනා ලෙසේ’ ඇතුළු මුල් යුගයේ ලතා සමග යුග ගී රැසක් ගායනා කළේ ඔහුය. වරෙක ලතා සුසිල් හඳුන්වා දී තිබුණේ සිය ගායන දිවියේ ගුරුවරයා ලෙසිනි.
ලතා ගුවන් විදුලි ගායනයට එක් වන්නේ සරත් විමලවීර රචනා කළ එඩ්වඩ් පෙරේරාගේ සංගීත නිර්මාණය කළ ‘කඳුළු දෙනෙතින් වෑහෙනා’ ගීතය සමගිනි. එහෙත් ඇය ගුවන් විදුලි ශ්‍රාවකයන් අතර ජනප්‍රියත්වයට පත්වූයේ ‘නමෝ මරියනී’ ගීතය ගැයීමෙන් අනතුරුවය. ඒ 1947 වසරේය. මේ ඊයේ පෙරේදා ලතා අපෙන් සමුගන්නා තුරු පුරා වසර 79ක් එකී ගීතය සෑම නත්තලකම ගීතවත් වූයේය. ලතා මිය යන්නට දින දෙකකට පෙරාතුව උදා වූ නත්තලේද ගුවන් විදුලි, රූපවාහිනි නාළිකා ඔස්සේ මෙම ගීතය නිරන්තරයෙන් අපේ සවනට වැකිණ.
එකී අවධියේම ලතා, සී.ටී. ප්‍රනාන්දු සමග ගායනා කළ 'සැලළිහිනි කොවුල්' 'ලෝ අඩ නින්දේ' සහ 'මල්බර හිමිදිරියේ' වැනි ගීතද එකල ගුවන් විදුලි ශ්‍රාවකයන් අතර ඉතාමත් ජනප්‍රියත්වයට පත්ව තිබුණි. එකල පාසල් විනෝද චාරිකාවන්හිදී නිරන්තරයෙන්ම එම ගීත කාගෙත් මුවඟ රැව් පිළිරැව් දුනි.
ලතා චිත්‍රපට පසුබිම් ගායනයට පිවිසෙන්නේ 1953 පෙබරවාරි 14 වැනිදා තිරයට ආ ‘එදා රෑ’ චිත්‍රපටය ඔස්සේය. ඒ මෙරට කතානාද සිනමාව ඇරැඹී හරියටම වසර හයකට පසුය. කරුණු කිහිපයක් නිසා එදා රෑ චිත්‍රපටය විශේෂිත වේ. එය මෙරට චිත්‍රාගාරයක වැඩ ඇරඹූ ප්‍රථම සිංහල චිත්‍රපටය වීම ඉන් පළමු වැන්නයි. එහි රූගතකිරීම් සිදුකෙරුණේ ‘සුන්දර සවුන්ඩ්’ නමැති එම චිත්‍රාගාරයෙහිය. එහි ප්‍රධාන චරිතය රඟපෑ සීතා ජයවර්ධන සිනමා රංගනයට පිවිසි මුල්ම උපාධිධාරිනිය ලෙස ඉතිහාසයට එක්වේ. එහෙත් ලතා හා හා පුරා සිය ප්‍රථම චිත්‍රපට පසුබිම් ගායනයේදී හඬ මුසු කළේ වංශවතී දවුලුගල නමැති නිළියටය. ලතා එහි ගායනා කළේ යුග ගී තුනකි. ඇගේ ගායන සහයකයා වූයේ හර්බි සෙනෙවිරත්නය. හර්බි එම ගීත ගායනා කරන්නේ වංශවතී දවුලුගල හා රංගනයට ද එක්වෙමිනි. මුල් චිත්‍රපට කිහිපයකම ලතාගේ නම සඳහන් වූයේ ලතා ජී. ප්‍රනාන්දු යනුවෙනි. ප්‍රනාන්දු නාමය අත්හැර ඇය වල්පොළ බවට පත්වූයේ 1958 අප්‍රේල් 7 වැනිදා ධර්මදාස වල්පොල සමග විවාහ ප්‍රාප්ත වීමත් සමගය.
ලතාට ‘එදා රෑ’ චිත්‍රපටයට පෙර ආරාධනා ලැබෙන්නේ ‘සුජාතා’ හි ගී ගැයීමටය. එහෙත් ලතා වෙතින් එම අවස්ථාව ගිලිහී ගියේ ඇගේ පියා ඊට දැක්වූ විරෝධය නිසාවෙනි.මෙරට ජනප්‍රිය සිනමා ධාරාවේ සුවිශේෂී සන්ධිස්ථානයක් වූ ‘සුජාතා’ හි ගී ගැයීමට ලතාට අවස්ථාව ලැබුණේනම් ඉන්දියානු ගායිකාවන්ගේ හඬින් ගැයුණු ‘ප්‍රේම ගඟේ’, ‘සොමිබර පෙම් රැළි’, ‘ප්‍රේමාලෝකය නිවී ගියා’ වැනි අතිශය මධුර ගී අප අසන්නේ ලතාගේ රිදී සීනු පරයන හඬිනි. කෙසේ වෙතත් නිෂ්පාදක කේ. ගුණරත්නම් සිය නියෝජිතයකු නොඑවා තමන්ම ලතා හමුවට පැමිණ ‘සුජාතා’ හි ගී ගැයීමට ඇරයුම් කළ බව සඳහන්ය.
ලතා සිය චිත්‍රපටයකට දායක කරගැනීමේ උත්සාහ කේ. ගුණරත්නම් ජය ගත්තේ සිය තෙවැනි චිත්‍රපටය වූ ‘රදළ පිළිරුව’ හරහාය. ලතා එහි ගායනයට පමණක් නොව රංගනයට ද දායක වූවාය. පසු කලෙක ‘සුජාතා’ තැනූ චිත්‍රාගාරයේදීම කේ. ගුණරත්නම්, සුජාතා අධ්‍යක්ෂවරයා වූ ටී.ආර්. සුන්දරම් ලවා තවත් චිත්‍රපටයක් නිර්මාණය කිරීමේ කාර්යයට අත ගසන්නේය. එහි සංගීත අධ්‍යක්ෂණය සඳහා තෝරා ගන්නේද සුජාතා චිත්‍රපටයෙහි සංගීත අධ්‍යක්ෂවරයාමය. එම චිත්‍රපටය ‘වන මෝහිනීය.’ එහි ප්‍රධාන නිළි චරිතය රඟපෑ කාන්ති ගුණතුංග වෙනුවෙන් ගී ගයන්නේ ලතාය. ලතාට එහිදී ගයන්නට ලැබෙනුයේ ජනප්‍රිය හින්දි තනු අනුව සැකසුණු ගී හයකි. ඒවා අනුකාරක ගී තනු යැයි නොසිතෙන තරමට ලතා සිය මධුරතර හඬින් සහ ගායන ලාලිත්‍යයෙන් ඊට අලුත් හැඩයක් එක් කළාය. කෙසේ වෙතත් ලතා චිත්‍රපට පසුබිම් ගායිකාවක ලෙස වඩාත් ස්ථාවරයට මෙන්ම ජනප්‍රියත්වයට පත්වූයේ 'ප්‍රේම තරගය' චිත්‍රපටයෙනි. එහි ප්‍රධාන නළු නිළියන් වූයේ ප්‍රේම ජයන්ත් සහ අයේෂා වීරකෝන්ය. එම චිත්‍රපටය ලතාගේ චිත්‍රපට පසුබිම් ගායනය ඉහළටම ඔසවා තැබුවා සේම ඇයගේ පෞද්ගලික ජීවිතයේද වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කෙළේය. කොටින්ම විවාහය දක්වා දුරදිග ගිය ධර්මදාස - ලතා ප්‍රේම වෘත්තාන්තය ඇරඹෙන්නේ ‘ප්‍රේම තරගය’ ඔස්සේය.
‘හොඳ හොඳම වේය ලොව
කිසිම තැනක නැහැ නොහොඳ
නරක දිනුවේ
සිත ඊර්ෂ්‍යමාන ගති නැති නිසාම අපි
ප්‍රේම තරගෙ දිනුවේ’
අදටත් ජනප්‍රිය එම ගීතය ධර්මදාස - ලතාගේ ජීවිතයට වෙස්වලා ගත් ආශිර්වාදයක් වූයේ දෛවයේ සුභාශිංසනය මැදය.
‘එදා රෑ’ මෙරට 13 වැනි කතානාද චිත්‍රපටයයි. එයට පෙර තිරගත වූ චිත්‍රපටවල පසුබිම් ගායිකාවක ලෙස ස්ථාවරත්වයක් ගොඩ නගා ගැනිමට අපේ රටේ කිසිදු ගායිකාවකට හැකි වූයේ නැත. රුක්මනී දේවිය සතුව තිරයට උචිත කටහඬක් තිබුණද ඇය පසුබිම් ගී ගැයුවේ තමා රඟපෑ චිත්‍රපටවල පමණකි. ජෙමිනි කාන්තා, මේබල් බ්ලයිත්, ලැටීෂියා පීරිස් ආදීන් චිත්‍රපට ගී රැසක් ගායනා කළද ඒ ගී සියල්ල ගීතවත් වූයේ ඔවුන්ම රඟපෑ චරිත උදෙසාය. එහෙත් ලතා ගී ගැයුවේ සෙසු නිළියන්ටය. ඇය වදනේ සැබෑ අරුතින්ම චිත්‍රපට පසුබිම් ගායිකාවක වූයේ එනිසාවෙනි. ඇයගේ මුල්ම සංගීතවේදියා මොහොමඩ් ගවුස් වුවද ඇය චිත්‍රපට ලෝකයෙහි ගායිකාවක ලෙස ජනාදරයට පත්වන්නේ ආර්. මුත්තුසාමිගේ තනු නිර්මාණයන් හරහාය. මුත්තුසාමි අනුකරණ ගීත මෙන්ම ස්වතන්ත්‍ර ගී රැසක්ද චිත්‍රපට සඳහා නිර්මාණය කළ අතර ඒවා වැඩි වශයෙන්ම ගායනා කිරීමේ වරම් ලද ගායිකාව ලතා වූවාය.
‘මාතලන්’ චිත්‍රපටය එලෙස මුත්තුසාමිගේ මධුර තනුවලට ලතාගේ මෝහනීය ගී හඬ එක්වූ අවස්ථාවකි. එම චිත්‍රපටයට ඇතුළත් වූ ගීත දොළහෙන් අටක්ම ගායනා කරනු ලැබුවේ ලතාය. ඒ ගී අතරින් රන්වන් රන් කරලින්, සඳ කොමලී, ඉවසනූ හදේ ගීත සදාතනික මිහිරියාවෙන් යුක්ත වේ.
ඉන්පසු මුත්තුසාමි මාස්ටර්ගේ විශිෂ්ටතම ගී තනු නිර්මාණ ඇතුළත් ‘සංදේශය’ චිත්‍රපටයට ලතාගේ ගායන දායකත්වයෙන් ලැබෙන්නේ විසල් ආලෝකයකි. අපූර්ව චමත්කාරයකි. සුදට සුදේ වළාකුලයි, රැජින මමයි, පුන්සඳ එළියයි, රෑන ගිරා රෑන අඹේ මී බිබී වැනි ගීත ඔස්සේ විදහා දැක්වුණේ ලතාගේ ගායන පරාසයෙහි විශිෂ්ටත්වයයි. සැබැවින්ම එම ගී රසයෙන් මත් නොවුණු ලාංකික සිංහල ගී රසිකයෙක් එදා සිටියේ නැත. ඊට ප්‍රථම ඇය ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ප්‍රථම වෘත්තාන්ත චිත්‍රපටය වූ ‘රේඛාව’ ට ‘සීගිරි ළඳකගේ මල් වට්ටියෙ ලා’ යන අපූරු දරු නැළවිලි ගීයද ගායනා කළාය.
ලතා දශක හතක් පුරා චිත්‍රපට පසුබිම් ගායනයෙහි නිරත වූවාය. ඇයට තිබුණේ තිරයට උචිත හඬකි. එය ක්ලැරිස් ද සිල්වාට මෙන්ම සන්ධ්‍යා කුමාරිටත්, පුණ්‍යා හීන්දෙණියට මෙන්ම ශ්‍රියනි අමරසේනටත්, විජිත මල්ලිකාට මෙන්ම මාලිනී ෆොන්සේකාටත්, සුමනා අමරසිංහගේ සිට දිල්හානි අශෝකමාලාටත්, දිල්හානි ඒකනායකට මෙන්ම සංගීතා වීරරත්නටත් එකසේ ගැළපෙන විශ්මිත හඬකි. සිය චිත්‍රපට පසුබිම් ගායනයේදී ඇය කිසිවිටෙකත් ප්‍රවීණ, ආධුනික වශයෙන් ශිල්පිණියන් වර්ගීකරණය කළේ නැත. විශිෂ්ටතම නිළියන්ගේ සිට අතුර නිළියන්ට ද එකසේ තම හඬ ඔස්සේ ඕ උපරිම සාධාරණය ඉටු කළාය. එනිසා මෙන්ම අපේ සිනමාවේ නිළියන් සියයකට පමණ ඇයගේ ගායනා මිහිරියාවෙන් අනුග්‍රහය සැපයීය.
ගලා හැලෙන සුපැහැදිලි දිය දහරෙන් මෙන් නැවුම්, සුපැහැදිලි ලතාගේ හඬ ඇය සමග ගී ගැයූ සියලුම ගායන ශිල්පීන්ට කදිමට ගැළපුණි. එය වෙනත් ගායිකාවකට නොතිබූ තරම් පුළුල් පරාසයක විහිදී ඇත. සුසිල් ප්‍රේමරත්නට මෙන්ම සී. ටී. ප්‍රනාන්දුටත්, ධර්මදාස වල්පොලට මෙන්ම මොහිදීන් බෙග්ටත් ලතාගේ ගී හඬ මැනවින් සංයෝගව තිබිණි. එච්. ආර්. ජෝතිපාල සමග ලතා මුල් වරට චිත්‍රපට පසුබිම් ගායනයක් ඉදිරිපත් කළේ ‘අනුපමා’ චිත්‍රපටයටය. ඒ සිහින විලේ නිලුපලී ගීතයෙනි. ඉන් අනතුරුව ජෝති මියෙන තුරා ඇය ඔහු සමග යුග ගී රැසක් ගායනා කළාය. ‘නෑදෑයෝ’ චිත්‍රපටයට එම්. එස්. ප්‍රනාන්දු සහ ලතා ගැයූ ‘එරන් කඳ පෙම් හද’ හා ක්ලැරන්ස් විජේවර්ධන සමග ‘ජනක සහ මංජු’ චිත්‍රපටයට ගැයූ ‘ලෝකේ ජීවත් වන්නට’ ගීත කොතරම් රසපූර්ණ දැයි කියා අමුතුවෙන් කිවයුතු නැත. ලතා වික්ටර් රත්නායක සමග ‘රජගෙදර පරෙවියෝ’ චිත්‍රපටයට ‘හිනැහෙන්න රෝමියෝ මමයි’ ගැයුවාය. සනත් නන්දසිරි සමග ‘දේදුන්නෙන් එන සමනළයෝ’ ගීතයත් ටී. එම්. ජයරත්න සමග ‘මාල ගිරා තටු’ ගීත ඇය ගායනා කළේ ‘වසන්තයේ දවසක්’ චිත්‍රපටය වෙනුවෙනි. එවැනි නිදසුන් තව ඕනෑ තරම්ය.
ඇය විසින් සිංහල සිනමාවේ රන් සලකුණු තැබූ තවත් ගීත කිහිපයක් මේ මොහොතේ මගේ මතකයට එබෙති. ආදරයේ රන් විමනේ (සැනසුම කොතැනද), හීන හතක් මැද (ගැටවරයෝ), පැතුම් මල්ලකී මේ ජීවිතේ (හතර දෙනාම සූරයෝ), රොන් සොයා පියඹන සමනළියක් සේ (ආවා සොයා ආදරේ) යන එම ගීත චිත්‍රපටයේ රූපාවලිය හා කොතරම් බද්ධ වූවාදැයි එම චිත්‍රපට නැරඹූ ප්‍රේක්ෂකයන්ට රහසක් නොවේ.
ලතා සමග සිංහල සිනමාව ප්‍රභාවත් කළ තවත් ගායිකාවන් තිදෙනකු මේ මොහොතේ මගේ මතකයට නැගේ. ඒ නන්දා මාලිනී, සුජාතා අත්තනායක හා ඇන්ජලීන් ගුණතිලකය. මොවුන්ගේ හැකියාවන් කිසිවකුටත් දෙවැනි වන්නේ නැත. එවන් ගී මිහිරක් යළි අපේ සිනමාවට ලැබේ දැයි සිතිය නොහැකිය.
ගැහැනියක ලෙසින් ජීවන ගිරිදුර්ගයේ නොයෙකුත් අභියෝගයන්ට මුහුණ දුන් ඇය ඒවා සමසිතින් විඳ දරා ගත්තාය. එක්තරා කාලයක අවමන්, ගැරහිලි මැද ඇය නිහඬව සිනාසී මුනිවත රැක්කා පමණකි. එහෙත් කිසිදාක ඇගේ අව්‍යාජ සිනහව අතුරුදන් වූයේ නැත. මෙරට අංක එකේ ගායිකාවක ලෙසින් අතිශය කාර්යබහුල දිවි පෙවෙතක් ගත කළ ඇය පුතුන් තිදෙනකුට හා දියණියකට දයාබර මව වූවාය. සුනෙත්, අමිත් සහ චමින්ද යන පුතුන් ධර්මදාස වල්පොල නාමය ඉදිරියට ගෙන ගියහ. ආදරණීය දියණිය ධම්මිකාද දක්ෂ, ජනප්‍රිය ගායිකාවක වූවාය. ඇය තම ජීවන ගමන් මගට සමුදුන්නේ ජීවිතයේ බොහෝ දෑ ලද ගැහැනියක ලෙසිනි.
පිටපත : අසංක දේවමිත්‍ර පෙරේරා