දැනුත් මතක ‘නීල්’
සිනමාකරණයෙන් බැහැරව දා හත් වසක් ගත වුවද නීල් රූපසිංහ උපයා ගත් ජනප්‍රියත්වය බිඳකුදු අඩු වී නොමැත. වසර 1970දී සිය පළමුවැනි සිනමාපටය ප්‍රදර්ශනයට මුදා හරින නීල් අසීමිත ජනප්‍රියත්වයක් සපුරාගෙන වසර 1979 දී සිනමා අදියුරු තනතුරට තාවකාලිකව සමු දෙන්නේ වෙසෙසින්ම රසාලිප්ත සිනමාව ප්‍රිය කරන රසික බහුතරයකගේ එකඟ නොවන තත්වයක් මතය. 2008 වසරේදී ඔහු සිය අටවන සිනමාපටය ප්‍රදර්ශනයට මුදා හරිමින් උත්සුක වූයේද පෙර ලද ජනප්‍රියත්වය යළි ළඟා කර ගන්නටය.
අනතුරුව ගෙවී ගිය කාලය තුළ සිනමා මෙහෙයුමකට නොපැමිණියද සිනමාව හදාරන, සිනමාව විමසන සුළුතරයකගේ සැලකිල්ලට ඔහු පාත්‍ර වූ බව නොරහසකි. පසුගියදා ලේඛිකා පවිත්‍රා රූපසිංහ ජනගත කළ ‘මම නීල්’ ග්‍රන්ථය මෙහි නවතම අවස්ථාවයි. මෙය එළිදැක්වීම නිමිති කොට ගෙන ඔහුගේ වඩාත්ම ජනප්‍රිය සිනමාපටය වන ‘හතර දෙනාම සූරයෝ’ හි විශේෂ දර්ශන වාරයක් පැවැත්විණි. 36 වන සරසවිය සිනමා සම්මාන උළෙලේදී නීල් රණතිසර සම්මානයෙන් පිදුම් ලැබුවේය. වසර 2014දී මා නීල්ගේ සිනමා මෙහෙයුම විමසමින් ‘ලෙනින් නීල් හා යසපාලිත’ විචාර ගත පළ කළේද නීල් රහිතව සිරිලක සිනමාව විමසිය නොහැකි නිසාමය.
කෙටි පාරට පිටින්
මෙම ලිපිය සැකසෙන්නේ ඔහු පෙන්නුම් කළ ඇතැම් සුවිශේෂ ලකුණු යළි හඳුනා ගනු රිසියෙනි. නීල් කිසිදු විටෙක කෙටි හෝ වාර්තා සිනමාකරණයට පිවිසියේ නැත. සමකාලීනව වෘත්තාන්ත සිනමාකරණයට පිවිසි හා පිවිසෙන්නට උත්සුක වූ තුරුණු පිරිස් කෙටි හෝ වාර්තා සිනමාකරණය කෙරෙහි දැක්වූයේ නොමඳ ඇල්මකි. මොවුන’තර ධර්මසේන පතිරාජ, සුගතපාල සෙනරත් යාපා, ඩී.බී. නිහාල්සිංහ, සුනිල් ආරියරත්න, පරාක්‍රම ද සිල්වා වැන්නෝ වූහ. කෙටි හෝ වාර්තා සිනමාකරණයෙන් ලබන අත්දැකීම හා පුහුණුව වෘත්තාන්ත සිනමාකරණයට අත්වැලක් වනු ඇතිය යන අදහස මේ ඔස්සේ ඉස්මතු වූ බව පෙනේ. එනමුදු නීල් රූපසිංහ, ලෙනින් මොරායස්, යසපාලිත නානායක්කාර වැනි සිනමාකරුවනට කෙටි හෝ වාර්තා සිනමාකරණයේ අත්දැකීම් හා පුහුණුව ඇවැසිම නොවූ බව දත හැකිය. මේ දෙපිල අතර සිනමාකරණයේ ස්වරූපය හා ස්වභාවය අතර ඉතා පැහැදිලි වෙනස්කම් පවතින බව සැබෑවකි. නීල් අයත් පිල නිරන්තරයෙන්ම රසාලිප්ත සිනමා මෙහෙයුමක් වෙනුවෙන් දෘඪතරව පෙනී සිටි බවයි. නිපැයුම් ප්‍රමිතිය ඉහළ නංවාලීම වෙනුවෙන් නීල් ඇතුළු කණ්ඩායම දැක්වූ සැලකිල්ල අපමණය.
‘ආදරේ හිතෙනවා දැක්කම’ ‘ලස්සන කෙල්ල’ සහ ‘හතර දෙනාම සූරයෝ’ නව නිපැයුම හැරුණු කොට අන් සිනමාපට විෂයෙහි කිසියම් විවාදාත්මක කියැවීමක් සනිටුහන් කරන්නට නීල් දැක්වූයේ නොසලකා හැරිය නොහැකි තරමේ උනන්දුවකි. රසාලිප්ත සිනමාවේ ජය කෙහෙළි නංවනු පිණිසම සපැමිණි සිනමාකරුවකු මෙවැනි පිළිවෙතක රැඳී සිටීම තරමක විස්මයක්ද දනවන බව නොඅනුමානය.
යොවුනන් ගේ දුක
‘දැන් මතකද’ හා ‘හතර දෙනාම සූරයෝ’ සමකාලීන නාගරික රැකියා විරහිත තුරුණු පෙළේ දිවි සැරිය ඔස්සේ ඇදී ගිය සිනමාපට ද්විත්වයකි. සමකාලීනව ප්‍රදර්ශිත ‘නිම් වළල්ල’, ‘වෙස්ගත්තෝ’ වැනි සිනමාපටද, අනතුරුව ප්‍රදර්ශිත ‘අහස් ගව්ව’ හා ‘වල්මත්වූවෝ’ වැනි සිනමාපටද තුරුණු වියේ විරැකියාව පිළිබඳ කියැවීමකට ආ වග පැහැදිලිය.
‘දැන් මතකද’ හි නාගරික අවවරප්රසාදිත තරුණයන් තිදෙනෙකු නීල්ට විෂය වෙයි. වරක් මේ තිදෙනා එක්ව ගයන ‘හිස් ටින් එකක් වාගෙයි අපෙ ජීවිතේ’ ගීය මූර්තිමත් කරන්නේ ඔවුනගේ දුක්බර දිවි සැරියයි.කෙසේ නමුත් මෙතැනදී දේශපාලනික අරුතක් නිරවුල්ව ගෙන හැර පෑමට නීල් වෑයම් නොකළ වග පෙනේ. එසේ නොවූයේ නම් නීල්ගේ සිනමාවතරණය රසාලිප්ත ලකුණු රහිතවද දැක ගන්නටද ඉඩ තිබිණි.
සිරිල් බී.පෙරේරා , සේනාධීර රූපසිංහ සමඟ එක්ව ‘දැන් මතකද’ හි කතා පුවත ගොඩ නංවා තිබීමද අමතක නොකළ යුත්තකි. ඒ වන විටත් සිරිල් බී. පෙරේරා සිනමා විචාරකයකු ලෙස කලාත්මක, සම්භාවනීය හා විවාදාත්මක සිනමා පිවිසුම් වෙනුවෙන් පෙනී සිටි අයෙකි. ඒ රෙජී සිරිවර්ධන, රෙජී රණසිංහ වැනි සිනමා විචාරයේ ප්රාමාණිකයන් සමඟිනි. එමතුද නොව ‘අපේ කට්ටිය’ කණ්ඩායම සමඟ සිරිලක වේදිකා නාට්‍යයේ අභිනව ප්රබෝධය වෙනුවෙන්ද ඔහු සක්‍රියව පෙනී සිටියේය. අතරමඟ නතරවුණු ‘සමනලයෝ’ සිනමාපටයටද ඔහු එක එල්ලේම එක්ව සිටියේය. පසු කාලයේදී නීල් හා සිරිල් බී. පෙරේරා එක්වීමක් දක්නට නොලැබිණි.
‘හතර දෙනාම සූරයෝ’ හි දැක්වෙන නාගරික පීඩිත තුරුණු දිවිය පිළිබඳ ඒ.ඩී.රන්ජිත් කුමාර සමඟ කළ පිළිසඳරකදී ධර්මසේන පතිරාජ දැක්වූ අදහස් නීල්ගේ සිනමා මෙහෙයුම ඇගැයීමට ලැබුණු මාහැඟි අවස්ථාවක් වේ. පතිරාජ අවධාරණය කරන්නේ ‘හතර දෙනාම සූරයෝ’හි දැක්වෙන ගැටලු ජනතාවට සමීප ඒවා වන බවයි. එසේම සිනමාකරු ජනතාව සමඟම ගමන් කළ යුතු බව ඉන් පෙනී යන බවද ඔහු වැඩි දුරටත් කියා සිටී.
(සරසවිය, 1973.11.16) වෙනස් ඇසකින්
සමකාලීන රසාලිප්ත සිනමාකරුවන් අතීත පුවත් කරා නොයන පසුබිමකයි නීල් ගෙවුණු සියවසේ මුල් අවදිය කෙරෙහි සැලකිලිමත් වන්නේ. උතුවන්කන්දේ සරදියෙල් යටත් විජිත පාලනය විසින් මරණ දණ්ඩනයට ලක් කරනු ලැබීමෙන් අනතුරුව පෙරට එන ඔහුගේ එකම පුතු මුල් කරගෙන දිග හැරෙන පුවත නීල් ගෙන හැර පාන්නේ කිසියම් වෙනස් ආකාරයකිනි. යටත් විජිත පාලනය නිරූපිත බොහෝ නිර්මාණ අඩු වැඩි වශයෙන් ඊට එරෙහි ලකුණුම මුදා හරින වග සැබෑවකි. එනමුදු නීල් යටත්විජිත පාලනය දෙස විවෘතව හා තුලනාත්මකව බලන්නට අදි මදි නොකරයි. සිනමාපටයේ විරුවා වන සිරි පෙම් බඳින්නේ බ්‍රිතාන්‍යයන් යටතේ වෙසෙන නිලදරුවකුගේ ගුරු දියණියකටයි. පසුව ඔහුට බ්‍රිතාන්‍ය හමුදා ප්‍රධානියකුගේ ඇරියුමෙන් බ්‍රිතාන්‍ය බලා යාමේ අවස්ථාවක්ද උදාවේ. ඔහුව මරා දමන්නේ අතීත සගයායි. නමුත් මේ වන විට රසිකයා සිරි හා ඔහුව සුරකින යටත්විජිත පාලනය අරභයා කිසිදු විරෝධයක් එල්ල නොකරන බව පෙනේ.
ගාමිණී ෆොන්සේකා, විජය කුමාරතුංග හා තිස්ස විජේසුරේන්ද්‍ර වැනි සුපිරි තරු පසෙකලා කවර හෝ හේතුවක් මත ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු වැනි විකල්ප තරුවක් සිරිගේ චරිතය නිරූපණයට එක්කර ගැනීමද නීල් ගත් වෙනස් මාදිලියේ තීන්දුවකි.
කලාත්මක, සම්භාවනීය හා විවාදාත්මක සිනමාව සමඟම නිරන්තරයෙන්ම රැඳී සිටි සුනිල් ආරියරත්න හා නන්දා මාලිනී ‘සරදියෙල්ගේ පුතා’ හා එක්වීමද යම් වෙනස් හැඟීමක් දනවයි.
නීල් සිය මීළඟ සිනමා මෙහෙයුම වන ‘යකඩයා’ වෙතින්ද රසාලිප්ත සිනමාවට නුපුරුදු ලකුණු සමහරක් ගෙන හැර පාන්නට පියවර ගෙන තිබිණි. මෙහි පළමු ලකුණ වන්නේ නීතිය ඉදිරියේ බරපතළ වරදකරුවකුව වූ පුද්ගලයකුගේ ඇතුළාන්තය හසු කර ගන්නට දැක්වූ ඕනෑකමයි. මේ සැබැවින්ම විසූවකු වීමේ වාසිය හා අවාසිය නිසිව ගලපාගන්නටද නීල් උත්සුක වූ වග පෙනේ.
සමකාලීන රසාලිප්ත සිනමාව උද්දීපනයට දායක වෙමින් සිටි සරත් දසනායක ස්වතන්ත්‍ර ගී කිහිපයක් සමඟ ‘යකඩයා’ හි අගය වඩවන්නට සමත් වෙයි. මේ වන විට යසපාලිත නානායක්කාර , ලෙනින් මොරායස් හා සේන සමරසිංහද සිය සිනමාපට සංගීතවත් කරන්නට සරත් දසනායක කැඳවමින් සිටියහ. නීල් ‘යකඩයා ‘ සඳහා සේම ඉනික්බිතිව නිර්මිත ‘අමල් බිසෝ’ සඳහාද සරත් දසනායකගේ දායකත්වය අපේක්ෂා කරන්නේ එහි සඵලදායී බව පිළිබඳ විශ්වාසයෙනි.
රවී, අනුලා වෙනස් කිරීම
‘යකඩයා’ හි කැමරාකරණයට ඩොනල්ඩ් කරුණාරත්න එක්කර ගැනීමෙන් නීල් පෙන්වූ ගුණය සුළු කොට නොතැකිය යුතුය. පෙර අවස්ථාවලදී ලෙනින් මොරායස් විසින් නීල්ගේ සිනමාපට සතු ජවසම්පන්න බව සහතික කරලනු පිණිස කැමරාවෙන් දක්වන ලද දායකත්වය පමණටම මෙහිදී ඩොනල්ඩ් කරුණාරත්නගේ දායකත්වය ප්‍රමාණවත් මට්ටමක පැවති බව පෙනේ. වෙසෙසින්ම උද්වේගකර අවස්ථා රූ ගත කිරීමේදී ලෙනින් සේම ඩොනල්ඩ්ද කැපී පෙනුණු වග නොරහසකි. ඩොනල්ඩ් සිය අත්දැකීම්ද ඉවහල් කර ගනිමින් යම් යටි පෙළ අරුතක් ජනනය සඳහාද උනන්දු වූයේ යැයි ‘යකඩයා’ යළි නරඹන කළ සිතේ.
සහය චරිත නිරූපණයට රවීන්ද්‍ර රන්දෙණිය හා අනුලා කරුණාතිලක කැඳවීමද මෙහිලා නීල් පෙන්වූ සුවිශේෂත්වයකි. රවීන්ද්‍ර මෙසමයේ කැපී පෙනෙන්නට වූයේ රසාලිප්ත සිනමා රූපණයේ නොවේ. අනුලා කෙසේවත් රසාලිප්ත සිනමාවේ තරුවක් නොවූ රූපණවේදිනියකි. මේ දෙදෙනාම සිනමාපටයේ ප්‍රමුඛ චරිතය නිරූපණය කළ ගාමිණී ෆොන්සේකා තරමටම රූපණ සමත්කම් පෙන්වූ බව නොඅනුමානය.
සුපුරුදු විරුවා හෝ පෙම්වතා නොමැතිව වුව ජනාකර්ෂණීය සිනමාපට නිමවිය හැකි බව මෙහිදී නීල් සෙස්සනට පෙන්වා දුන්නේ කිසිදු බාධාවකින් තොරවයි. මේ රසාලිප්ත සිනමාවේ මූලිකාංග බැහැර නොකරමිනි.
‘අමල් බිසෝ’ සිනමාපටයත් සමඟ නීල් තමා එතෙක් නොසැලී රැඳී සිටි රසාලිප්ත සිනමාවෙන් නික්මීමේ වුවමනාව නිසැක වශයෙන්ම පෙන්නුම් කළ බව නිරන්තරනම කියැවේ. බොහෝ සිනමා විචාරකයන් පෙන්වා දෙන්නේ ‘අමල් බිසෝ’ සමාන්තර සිනමා මාදිලියට අයත් වන්නක් බවයි. එච්.ඩී.ප්‍රේමරත්න, විජය ධර්ම ශ්‍රී හා සුමිත්‍රා පීරිස් මෙම සිනමා මාදිලියේ සමකාලීන ප්‍රමුඛයන් වූ බව පැහැදිලිය. ආපසු හැරී බලන කළ ඔවුනගේ ‘සිකුරුලියා’, ‘දුහුළු මලක්’ හා ‘ගැහැනු ළමයි’ යන සිනමාපට සමඟ නීල්ගේ ‘අමල් බිසෝ’ රඳවන්නට අපහසු නොවන බවද පෙනේ.
තවදුරටත් සම්මත විරුවාගේ හා පෙම්වතාගේ චරිතය නිරූපණය කළ හැකිව තිබූ ගාමිණී ෆොන්සේකා මෙහිදී හමුවන්නේ විරූපී , දෙපා අවසඟ මැදිවියේ මිනිසකුගේ චරිතයකිනි . ‘හතර දෙනාම සූරයෝ’හා ‘ආදරේ හිතෙනවා දැක්කම’ හිදී විරුවාගේ හා පෙම්වතාගේ චරිතයෙන් රසික සිත් ප්‍රමුදිත කළ ගාමිණී ‘අමල් බිසෝ’ හිදී මෙබඳු චරිතයකින් දැක්වීම නීල්ට ගැටලුවක් නොවීය.
රසාලිප්ත බවින් මිදීම
නීල් ‘අමල් බිසෝ’ රූපණයට අජිත් ජිනදාස, රන්ජන් මෙන්ඩිස්, විමල් කුමාර ද කොස්තා සේම වසන්ති චතුරාණිද එක්කර ගැනීමෙන් ඉඟි කළේ රසාලිප්ත සිනමාවෙන් යම් පමණකට හෝ බැහැර වීමේ කැමැත්තයි.
අමරදේව, වික්ටර් රත්නායක, අබේවර්ධන බාලසූරිය නීලා වික්‍රමසිංහ හා නන්දා මාලිනී පසුබිම් ගී ගයන්නේ සරත් දසනායකගේ සංගීතයටය. ගී පබැඳුම් සුනිල් ආරියරත්න, ධර්මසිරි ගමගේ හා අජන්තා රණසිංහ ගෙනි. අවස්ථා ගණනාවකදීම නීල්ගේ සිනමා ගී රස ගැන්වූ එච්.ආර්.ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක, එම්.එස්,ප්‍රනාන්දු හා මිල්ටන් මල්ලවාරච්චි නොමැති වීම සම්බන්ධයෙන් රසික නොඑකඟතා බහුලව දත නොහැකි වීම නීල් ලද ජයකි.
‘අමල් බිසෝ’ පුවත දිග හැරෙන්නේ ගැමි යුවතියකගේ සෝබර දිවිය විනිවිද දකින්නට එන සරසවි සිසුවකුගේ දැක්මෙනි. මෙබඳු පිවිසුමක් නීල් අනුගමනය කරන්නේ පළමු වරටය. සිනමාපටය නිමා කෙරෙන්නේ ඇයගේ ඉරණම පසුපස ඇති සමාජ දේශපාලනික සාධක පිළිබඳ සඳහනකිනි. මෙයින් කියැවෙන්නේ රසාලිප්ත සිනමාවෙන් බැහැරට ගිය පසුවද යම් යටි පෙළ සඳහනකට නීල් අකමැති නොවන බවයි.
‘හතර දෙනාම සූරයෝ’ නිමවන විට විජය කුමාරතුංග සුපිරි තරුවක් බවට පත්ව නොසිටියේය. මාලිනී ෆොන්සේකාද ජනාදරය ලබමින් සිටි සමයයි. නීල් නොපැකිලව සිනමාපටයේ ආකර්ෂණීය පෙම් යුවළ සේ දක්වන්නේ විජය හා මාලිනීය. ගාමිණීට සපයන පෙම්වතිය ශ්‍රියානි අමරසේනයි. ඊට අමතරව ශ්‍රියානිගේ චරිතය අකල්හි මරු වසඟයටද යැවේ. ගාමිණී තනිවෙයි. මෙතැනදී ගාමිණී පසු කාලයේදී වඩවා ගත් උත්තම පුරුෂ චරිතයට අවැසි ගුණාංග සමහරක් එක්කර ගත්තේ යැයි සිතේ.
නීල් සිය තෙවන සිනමාපටය වන ‘ආදරේ හිතෙනවා දැක්කම’ හිදී මාලිනීගේ ආලය පිරිනමන්නේ විජයට නොව ගාමිණීටය. කිසියම් රසිකයකු ගාමිණී -මාලිනී සුසංයෝගයේ බලපෑමට නීල් නතු වූයේ යැයි පවසන්නටද පුළුවන. අනෙක් අතට විජය – මාලිනී සුසංයෝගය ප්රබලාකාරයෙන් රැගෙන එන්නේද ‘හතර දෙනාම සූරයෝ’ වෙතින් නීල්මය.
නීල් පොප් සංගීත ප්රවාහයට සිනමා සත්කාරයක් ලබා දෙන්නේ 1970 දශකයේ ‘ආදරේ හිතෙනවා දැක්කම’ වෙතිනි. සිරිලක සිනමාවේ සංගීතමය එළැඹුම් විමසන බොහෝ තැන් හිදී ‘ආදරේ හිතෙනවා දැක්කම’ ගිලිහෙන සෙයකි. එහි ආ ගී වත්මන් නවක ගායන තරු තෝරන බොහෝ වැඩසටහන් ආදියේදී යළි ගැයෙන අවස්ථා වරෙක දනවන්නේ මහත් වූ කනගාටුවකි. ඒ ඇතැම් විකෘත කිරීම්ද නිසාය.
යම් පමණකින් හෝ එකිනෙකට වෙනස් සිනමාපට අටක් නිමවුවද යම් අනන්‍යතාවක් ගොඩ නඟා ගන්නට නීල් සමත් විය. ‘ලස්සන කෙල්ල’ හා ‘හතර දෙනාම සූරයෝ’ නව නිපැයුමෙන් සිදුවූයේ එම වෑයම ව්‍යර්ථ කිරීමකි. ‘හතර දෙනාම සූරයෝ’ නව නිමැවුම වාර්තාගත කටයුත්තක් බව කියැවේ. එනමුදු එය මුල් ‘හතර දෙනාම සූරයෝ’ හා එක පෙළට තැබිය නොහැකි හා එය අභිබවා යාමේ කිසිදු වුවමනාවක් නොපෙන්වූ , කාලානුරූප වෙනස්කම් සනිටුහන් කරන්නට පියවර නොගත් සිනමාපටයකි.
මෙයින් අදහස් කෙරෙන්නේ නීල් සිනමා අදියුරු ධුරයෙන් සමුගත යුතු බව නම් නොවේ. මෑතදී මාධ්‍ය ඔස්සේ ඔහු පෙනී සිටි ජවසම්පන්න විලාසය නොපැකිලව පවසන්නේ සිනමාකරණයට ඔහු තවදුරටත් සමතකු විය හැකිය යන අදහසයි.
සටහන -
loadmoduleid 150