His Three Daughters
හොලිවුඩයේ සම්භාව්‍ය ගණයේ සිනමාව සැමවිටම උත්සාහ කරන්නේ විශ්වීය ගුණයෙන් යුතු තේමා යොදාගෙන නිර්මිත චිත්‍රපට මඟින් මහා ප්‍රේක්ෂකාගාරය කෙරෙහි බුද්ධිමය කලම්බනයක් ඇති කිරීමයි. නූතනයේ යාවත්කාලීන වන ප්‍රේමයේ ඇති ගතිකබව, මානව සම්බන්ධතාහි සංකීර්ණත්වය සහ පවුල් ආරවුල් මැද මනුසත්කමට ඇති වටිනාකමි ආදී තේමාවන් නාට්‍ය (Drama) ශානරය පෙරටුකරගත් හොලිවුඩ් චිත්‍රපටවලට කේන්ද්‍රයන් බවට පත් වෙති. 2024 වසරේ තිරගත වූ ‘His Three Daughters’ හෙවත් ‘ඔහුගේ දියණියන් තිදෙනා’ යනු විශ්වීය ගුණය ප්‍රකට කරන සිනමා ප්රකාශනයකි. චිත්‍රපටයේ තේමාව වනුයේ පිය සෙනෙහසයි. චිත්‍රපටයේ එන ප්‍රධාන චරිත ත්‍රිත්වයකි. එනමි රේචල්, කේටි සහ ක්‍රිස්ටිනා ය. මොවුන් තිදෙනා එකිනෙකාට සම්පූර්ණයෙන් වෙනස් ගති ලක්ෂණවලින් සමන්විත වූ එකිනෙකාගෙන් සම්පූර්ණයෙන් දුරස්ව සිටින සහෝදරියෝ වෙති. මොවුන් තිදෙනා දැන් එකම ස්ථානයක සිට යම්කිසි අරමුණක් වෙනුවෙන් පෙනී සිටියි. ඒ නිවාස අඩස්සියේ සිටින පිළිකාවකින් පීඬා විඳීන වයසත්ගත වූ තම පියා රැක බලා ගැනීම ය. නිව්යෝර්ක් නගරයේ මහල් නිවාසයක සිටින තම පියා රැක බලා ගැනීම ඔවුන්ගේ කරතව්‍යය වී ඇත.
රෝගී වූ පියා ඔක්සිජන් ටැංකියෙන් හුස්ම ගනිති. ඒ අතර මොවුන් තිදෙනා පියාගේ නිවස තුළ තම අදහස් හුවමාරු කර ගනිති. වාද කර ගනිති. රණ්ඩු වෙති. සහෝදරියන් තිදෙනකු වුව ද මනෝභාවයන් සාපේක්ෂව වෙනස් ය. අහසට පොළව මෙනි. ‘කේටි’ යනු තප්පරයකට වචන දාහක් පමණ එකදිගට පවසන තම ආධිපත්‍ය පතුරුවමින් පියාගේ රෝගී තත්ත්වය පිළිබඳ ඕනෑවටත් වඩා සැලකිලිමත් වන චරිතයකි. ක්‍රිස්ටිනා සංවෙිදි චරිතයකි. ඇය කේටි මෙන් නොවේ. කේටි සහ ක්‍රිස්ටිනා දෙපළගෙන් මඳක් ඇත්ව තමන්ගේ ලෝකයක් තනාගෙන තමන් කැමති දේ රිසි සේ විඳීන ‘රේචල්’ කියන්නේ හුදෙකලාව ඉන්න කැමති චරිතයක්.
මේ තිදෙනා තුළ ඔවුන්ට කාලාන්තරයක් තිස්සේ තිබු යම් යම් ප්‍රශ්න, අර්බුද සාකච්ඡා වෙන්න පටන් ගන්නවා. විටෙක මේ සියල්ල පිරිලා තියෙන්නෙ තරහවකින් එතුණු වෛරයකින්. ආතතිය සහ කාංසාව (melancholia) සමඟ අමිහිරි මතක එක්ක පියාගේ අර්බුදයට සාමකාමීව මුහුණ දෙන්න තරම් මේ තුන්දෙනාටම ශක්තියක් නැහැ. අනෙක් අතට මේ සහෝදරියන් තිදෙනාටම තම පියා වෙනුවෙන් ඉටු කළ යුතුව තිබු යුතුකම් සහ වගකීමි සාමුහිකව එකතුවෙලා සතුටින් ඉටු කරන්න සුදානම්බවකුත් පෙනෙන්නට නැහැ. පියා සමඟ අතීතය තුළ සිදු වූ දේවල් සේම සහෝදරියන් එකිනෙකා සමඟ සිදු වූ දේවල් ද සමතයකට පත්වීමට මේ සමාගමයට අවශ්‍ය නැත. ඔවුන්ගේ එකිනෙක ආත්මීය ගරාවැටීමි ගැන පසුතැවිල්ලක් ද නැත. කෙසේ හෝ තමාව පීඩනය පත් වූ ස්ථානයටම නැවත ගමන් කර සිය පීඩිතයා හමු වී ඔහුට පාපොච්චාරණ කිරීමෙන්, මෙහි එන ප්‍රධාන චරිත ත්‍රිත්වය සිය අඳුරු මතක සමඟ සංහිඳීයාවකට පැමිණීමට සමත් වෙයි.
චිත්‍රපටය විශ්වීය ගුණය රැඳී පවතින්නේ මේ තේමාව ලෝකයේ ඕනෑම රටක සිටින පවුලකට පොදු නිසා. නිරායාසයෙන්ම සිහියට නැඟෙන්නේ ජපන් සිනමාකරුව යසිජිරෝ ඕෂු අධ්‍යක්ෂණය කළ ‘ටෝකියෝ ස්ටෝරි’ චිත්‍රපටයයි. එහිදි කේන්ද්‍ර වූයේ මව් සෙනෙහස කෙරෙහි මැදිවන දූ දරුවන්ගේ සංකීර්ණතා ගොනුවකි.
‘His Three Daughters’ චිත්‍රපටයේ අධ්‍යක්ෂණය Azazel Jacobs විසින් සිදු කර ඇත. චිත්‍රපටයේ තිර පිටපත රචනා කර ඇත්තේ ද ඔහු විසිනි. ‘Azaze’ මීට පෙර අධ්‍යක්ෂණය කළ The Good Times Kid (2005), Momma’s Man (2008), Terri (2011), The Lovers (2017) සහ French Exit (2020) විචාරකයන්ගේ පැසසුමට ලක් විය. ඔහුගේ පියා වන්නේ පර්යේෂණාත්මක චිත්‍රපට නිර්මාණය කරන්නට නම් දැරූ ‘Ken Jacobs’ ය. දෙබස් මත පදනම් වූ කතන්දර කීම ”Azazel Jacobsගේ’ ආඛ්‍යාන විලාසය ප්‍රකට කරයි. චරිත අතර දෙබස් සහ චරිත අන්තර්ක්‍රියා මත සිදුවීමි ගලා යෑම සිදුවෙයි. චිත්‍රපටය පැයයි විනාඩි හතළිහක් පුරාවට සීමිත චරිත ප්‍රමාණයක් සහිත නිවෙස් අවකාශය තුළ පමණක් රූගත වූ අවමවාදී (Minimalist) චිත්‍රපටයකි. දින පහක් පුරාවට චිත්‍රපටය රූගත කළ මහල් නිවාසයේ දී නළු නිළියන් පුහුණුවීම් සිදුකර ඇත.
චිත්‍රපටයේ කේට්, ක්‍රිස්ටිනා සහ රේචල් යන සහෝදරියන්ගේ චරිත නිරූපණය කරන්නේ ‘එළිසබෙත් ඕල්සන්’, ‘කැරී කූන්’ සහ ‘නතාෂි ලියොන්’ යන සමිමානනීය නිළියන් ත්‍රිත්වය විසිනි. චිත්‍රපටයේ කැමරාකරණය සහ ආලෝකකරණය කැපී පෙනෙන සිනමා අංග වෙයි. කැමරාව අචලව තබා ගත් රූප විසින් රිද්මය ගොඩනඟා ඇත. නිවස අඳුරු කහ පැහැයට හුරු මඳ වර්ණයකින් ආලෝකමත් කර ඇත.’His Three Daughters’ චිත්‍රපටය නෙට්ෆ්ලික්ස් සන්නාමය යටතේ පසුගිය සැප්තැම්බර් මස 20 වැනිදා සිට අන්තර්ජාලය වෙත නිකුත් කළේය. ‘His Three Daughters’ චිත්‍රපටය මේ වනවිට ලොව පුරා සිනමා උළෙලවල් රැසකදි සම්මාන පිට සම්මාන සහ නිර්දේශ නාම ලබා ගන්නේ විචාරකයන්ගේ සහ ප්‍රේක්ෂකයන්ගේ පැසසුමට ලක් වෙමින්.
චිත්‍රපටය අවසානයේ දී ගැයෙන ‘Five Little Ducks’ හෙවත් ‘තාරා පැටවුන් පස් දෙනා’ කවිය ප්‍රබල රූපකයකි (metaphor). තාරා පැටවුන් පස් දෙනා එකිනෙකා එළියට පිටව ගොස් කාලයකට පසු නැවත පැමිණෙන කවිය හරහා අහිමි වීම, නැවත එක්වීම සහ පවුල් බැඳීම් පිළිබඳ අර්ථ දක්වයි. සිනමාපටය දැඩි හික්මීමකින් යුතුව හැසිරෙයි. දැඩි සංවරයෙන් සහ සංයමයෙන් යුතුව ප්‍රේක්ෂකයා වෙත මෙම කතාන්දරය පවසයි. කුටුම්භයක ජීවිතයෙන් පෙත්තක් කපා පෙන්වන සහෝදරියන් තිදෙනාගේ කතන්දරය නුතන ලංකාව තුළ අත්විඳීන පවුල් ක්‍රියාදාමයට ආදේශ කළ හැකි ය. ආතතියට (stress)) එදිරිව ආදරය පිළිබඳ අදහස ද ච්ත්‍රපටය විසින් ඉස්මතු කරන ප්රමුඛ සාධකයකි. සහෝදරියන් එකිනෙකා සමඟ රණ්ඩු වීම සහ සහයෝගය දැක්වීම අතර දෝලනය වීම ව්‍යාජත්වයෙන් තොර සැබෑ ජීවිතයේ පවුල් ගතිකත්වය (dynamic) පිළිබිඹු කරයි. පුද්ගල දෘෂ්ටිකෝණයෙන් යුතුව සෑම සොහොයුරියක්ම තම පියාගේ රෝගයට ප්‍රවේශ වන්නේ අනන්‍ය දෘෂ්ටිකෝණයක් ද සමඟිනි. දුක සහ මරණය අතර ඇති සම්බන්ධය විසින් අප ආදරය කරන අය සමීපව හිඳීමේ අතිශය වැදගත් ය. ජීවිතයේ අස්ථීරත්වය සහ වගකීම්වල බරසාරබව සංකේතවත් කරන ‘His Three Daughters’ සිනමා වියමන බුද්ධිමය කලම්බනයක් අති කරන සංවෙිදි චිත්‍රපටයකි.
සටහන: ඉමල්ක විතානගේ