Aishwarya Rai ඓශ්වර්යා රායි ට තවත් අභියෝගයක්
අභියෝග ජයගත් ඇයට තවත් අභියෝගයක්
සුන්දරත්වය කියලා කියන්නේ මේ ලෝකේ හැම කෙනෙක් ගාවම වෙනස් විදිහට දකින්න පුළුවන් දෙයක්. ඒක රූපයේ ලස්සන විතරක් නෙවෙයි. හදවතේ ලස්සන වෙන්නත් පුළුවන්. උපතින්ම සුන්දරත්වය උරුම කරගෙන ඇවිදින් රූ රැජිනක් විදිහට සිනමාවට පිවිසෙනවා කියන්නේ එසේ මෙසේ වාසනාවක් නෙවෙයි. අනික බොලිවුඩ් නිළියක් වෙන එක. අද අපි කතා කරන්නේ අන්න ඒ වගේ කෙනෙක් ගැන. ඒ වෙන කවුරුත් නෙවෙයි. ඓශ්වර්යා රායි. ලස්සන වගේම වාසනාව සහ දක්ෂතාව එක්තැන් වුණාම ගොඩනැඟෙන්නේ වෙනස්ම විදිහේ කලා කෘතියක්. ඒකට නිර්වචනයක් සපයනවා නම් ඓශ්වර්යා රායි තරම් වෙන කවුරුවත් ඒකට සුදුසු නැතිව ඇති. 1973 නොවැම්බර් පළමුවැනිදා උපත ලබන ඓශ්වර්යා රායි, 1994 වසරේ ලෝක රූ රැජින විදිහට අභිෂේක ලබනවා. එතැනින් තමයි ඇගේ ගමන පටන් ගන්නේ. එදා සිට අද දක්වාම බොලිවුඩයේ බලගතුම කාන්තාවක් විදිහට බැබළෙන්න ඇයට හැකියාව ලැබිලා තියෙනවා.
කොහොම වුණත් ඓශ්වර්යා රායි ආපු ගමන නම් ඒ තරම් සුන්දර එකක් වුණේ නැහැ. ඇයට නොයෙක් විදිහේ බාධක වගේම අභියෝගවලටත් මුහුණ දෙන්න සිද්ධ වුණා. රූ රැජින වෙන්න කලින් ඉදලාම ඓශ්වර්යා රායි නිරූපිකාවක් සහ වෙළඳ දැන්වීම් නිරූපන ශිල්පිනියක් විදිහට කටයුතු කළා. මිස් ඉන්දියා තරඟයෙන් ඇය දෙවැනි තැන ගන්නකොට මිස් ඉන්දියා වුණේ සුෂ්මිතා සෙන්. මේ නිසාම ඒ වසරේ සුෂුමිතා විශ්ව රූ රැජින වෙනකොට ඓශ්වර්යා රායි ලෝක රූ රැජින බවට පත්වෙනවා. මේක එක්තරා ආකාරයකට ඓතිහාසික ජයග්‍රහණයක්. ඒ විදිහට සිනමාවට පිවිසෙන ඓශ්වර්යා රායි ඇගේ සිනමා ගමන්මඟ ආරම්භ කරන්නේ 1997 වසරේදී මනිරත්නම්ගේ ඉරුවර් කියන දමිළ චිත්‍රපටයෙන්. ඒ වගේම ඒ වසරේදීම ඇය ඕර් ප්යාර් හෝ ගයා කියන හින්දි චිත්‍රපටයටත් සිය රංගන දායකත්වය ලබාදෙනවා. ඇගේ පළමු සාර්ථක චිත්‍රපටය බවට පත්වෙන්නේ 1998 වසරේ තිරගත වූ ජීන්ස් කියන දමිළ චිත්‍රපටිය. එහි ඇය ප්‍රශාන්ත් එක්ක තමයි ප්‍රධාන චරිතය රඟපෑවේ.
ඊට පස්සේ ඇය සිනමා නිර්මාණ රැසකට සිය රංගන දායකත්වය ලබා දෙනවා. ඒ අතර, Hum Dil De Chuke Sanam (1999), Devdas (2002), Raincoat (2004), Guzaarish (2010), Mohabbatein (2000), Dhoom 2 (2006), Guru (2007), Enthiran (2010), Jodhaa Akbar (2008), Ae Dil Hai Mushkil (2016), Ponniyin Selvan: I (2022), Ponniyin Selvan: II (2023) ගොඩක් ජනප්‍රිය වුණා. හැබැයි ඓශ්වර්යා රායි සිනමාවට පිවිසි මුල් කාලෙ වැරදි තීරණයක් අරගෙන තිබුණා. ඒ නිසාම ඇයට බොහෝ සිනමා නිර්මාණ අහිමිවුණා විතරක් නෙවෙයි ලැබෙන්න තිබුණු ගොඩක් අවස්ථා ඇහිරිලා ගියා. ඒ ඇය සල්මන් ඛාන් එක්ක ප්‍රේම සම්බන්ධතාවක් ඇතිකරගත්තු නිසා. මේ සම්බන්ධතාව ඇතිවුණේ ඇය සංජය ලීලා බන්සාලිගේ හම් දිල් දේ චුකේ සනම් චිත්‍රපටයේ රඟපාන කාලයේ. සල්මන් ඇයට සමහර නළුවන් එක්ක වගේම අධ්‍යක්ෂකවරුන් එක්ක වැඩකරන එකත් තහනම් කළා.
සමහර දවස්වලට ඇය වැඩකරන තැන්වලට ඇවිත් කලබල කරන්නත් පුරුදු වුණා. ඒකට හොද උදාහරණයක් තමයි චල්තේ චල්තේ චිත්‍රපටය. ෂාරුක් මේ සඳහා මුලින්ම තෝරාගෙන හිටියේ ඓශ්වර්යා රායි. නමුත් සල්මන් ඛාන් දර්ශන තලයේදී කරන කරදර නිසා ඔහු ඓශ්වර්යා රායි මේ චිත්‍රපටයෙන් අයින් කරලා රාණි මුඛර්ජිව යොදාගන්නවා. චිත්‍රපටය වසරේ අති සාර්ථකම නිර්මාණය වුණත් ඓශ්වර්යා රායිට ඒ අවස්ථාව අහිමි වෙන්නේ සල්මන් ඛාන් නිසා. ඔහු ඇයට විතරක් නෙවෙයි ඇයගේ පවුලේ අයටත් කරදරයක් වෙනවා. මේ නිසාම ඇය තීරණය කරනවා ඔහුගෙන් වෙන්වෙන්න. ඒක හිතන තරම් පහසු දෙයක් වුණේ නැහැ. නමුත් ඓශ්වර්යා රායි ඒක කළා. සල්මන් ඇගේ ගමනට අභියෝගයක් වෙන්න ඓශ්වර්යා රායිගේ පෙනුම තියෙන ස්නේහා උලාල් කියන නිළියව සිනමාවට ගේනවා. ඒ ලකී සිනමාපටයෙන්. නමුත් ඇයට ඓශ්වර්යා රායි තරම් සාර්ථකත්වයක් අත්කරගන්න පුළුවන් වුණේ නැහැ. පසුකාලීනව ඇය විවේක් ඔබරෝයි එක්ක ආදරයෙන් බැඳුණා. ඒක නිසාම සල්මන් විවේක්ටත් බොලිවුඩ්වල සාර්ථක ගමනක් යන්න අවස්ථාවක් දුන්නේ නැහැ. සම්බන්ධතාවත් වැඩි දවසක් තිබුණේ නැහැ. මේ කාලෙම ඓශ්වර්යා රායිට අවස්ථාව ලැබෙනවා හොලිවුඩ් සිනමාවට සම්බන්ධ වෙන්න. Bride and Prejudice (2004), Mistress of Spices (2005), Provoked (2006), The Last Legion (2007), The Pink Panther 2 (2009), Maleficent: Mistress of Evil (2019) ඒ අතරින් විශේෂ නිර්මාණ කිහිපයක්. ඒ ඔස්සේ ඇය ජාත්‍යන්තර කීර්තිය පවා අත්කරගත්තා. ඇයට පෙර කොයිතරම් නළු නිළියන් හොලිවුඩ් නිර්මාණවලට දායක වුණත්, ඓශ්වර්යා රායි තරම් සාර්ථක වෙන්න ඒ කිසිම කෙනෙකුට හැකියාව ලැබුණේ නැහැ.
මේ කාලෙම ඇය ජනප්‍රිය වෙළඳ නාම ප්‍රවර්ධන නිලධාරිනියක් ලෙසත් කටයුතු කරන්න පටන් ගන්නවා. ඇයට තිබුණු ජනප්‍රියත්වය සහ ජාත්‍යන්තර පිළිගැනීම නිසාම බොහෝ ආයතන සහ නිෂ්පාදන ඇයව තමන්ගේ බ්‍රෑන්ඩ් එම්බසඩර් විදිහට තෝරාගන්නවා. මේ දවස්වලම ඇය ව්‍යාපාර ලෝකයට පිවිසෙන්නත් අමතක කරන්නේ නැහැ. වර්තමානය වන විට ඉන්දියාවේ නිළියන් අතර ධනවත්ම ව්‍යාපාරික කාන්තාව වන්නේත් ඓශ්වර්යා රායි. ඒක ඇයට ආඩම්බරයක්. කෑන්ස් ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙලේ වැඩි අවධානයක් දිනාගනිමින් අවස්ථා කිහිපයකදීම ඊට සම්බන්ධ වෙන්නත් ඓශ්වර්යා රායිට අවස්ථාව ලැබෙනවා. ඇගේ රංගනය වෙනුවෙන් හොඳම නිළිය විදිහට ඇය අවස්ථා කිහිපයකදීම සම්මානයට පාත්‍රවෙලා තියෙනවා. කොහොමහරි ඩූම් 2 කරන කාලෙ ඇයට අභිෂේක් බච්චන්ව මුණගැසෙනවා. ඊට පස්සෙ තමයි ඔවුන් අතර ආදරයක් හටගන්නේ. කොහොමහරි 2007 වසරේදී ඇය තීරණය කරනවා අභිෂේක් එක්ක විවාහ වෙන්න.
විවාහයෙන් ඇයට එක් දියණියක් ලැබෙනවා. ඒ ආරධ්‍යා බච්චන්. මේ නිසාම ඓශ්වර්යා රායි බච්චන් කියලා නම වෙනස් කරගන්නත් ඇයට සිදුවෙනවා. ඊට පස්සේ තමයි ඇය තීරණය කරන්නේ පවුල් ජීවිතයට මූලිකත්වය දෙන්න. මේ නිසා ඓශ්වර්යා රායි ටිකෙන් ටික සිනමාවෙන් ඈත් වෙන්න තීරණය කරනවා. කොහොම නමුත් ඇගේ නැන්දම්මා වුණු ජයා බච්චන් එක්ක නම් ජීවත්වෙන එක ලේසි කාරණයක් නෙවෙයි. ඒ නිසාම විටින්විට ඔවුන් අතර ගැටුම් සහ විරසකවීම් පවා ඇතිවෙලා තියෙනවා. ඓශ්වර්යා රායි ඒ දේවල් එළියට පෙන්නුවේ නැතත් ජයා බච්චන්ගේ සමහර අනුවණ ක්‍රියා නිසා මිනිස්සු ඒ දේවල් දැනගත්තා. මේ දවස්වල ඓශ්වර්යා රායිට තියෙන ලොකුම අභියෝගය තමයි නිම්රත් කෞර්. අභිෂේක් ඓශ්වර්යා රායිගෙන් දික්කසාද වෙන්න යනවා කියල ලොකු කටකතාවක් පැතිරෙනවා. ඒ අභිෂේක් නිම්රත් එක්ක සම්බන්ධතාවක් පටන් අරගෙන තියෙන නිසාලු. හැබැයි මේක ඔවුන් කිසිම තැනක ප්‍රසිද්ධ කරලා නම් නැහැ. ඒ වුණත් අභිෂේක් නිම්රත් එක්ක ප්‍රසිද්ධ ස්ථානවල ගැවසෙනවා ගොඩක් අය දැකලා තියෙනවා. ඒ වගේම ඓශ්වර්යා රායි ඇගේ දියණියත් එක්ක බච්චන් පවුලෙන් වෙන් වෙලා ජීවත් වෙනවා කියන එක ප්‍රසිද්ධ රහසක්. රූ රැජිනක් වුණත් මේ වගේ ප්‍රශ්න ජීවිතේට එනවා. අපි බලමු ඓශ්වර්යා රායි මේ ප්‍රශ්නයට කොහොම මුහුණ දෙයිද කියලා. ඒක අනාගතයට බාරයි. නමුත් අපි ඇගේ ජීවිතය තවත් සාර්ථක වෙන්න කියලා සුබපතමු.සටහන: අමිල නුවන් මධුසංඛ